Sunday, 4 December 2016

පියකරු, ලෙන්ගතු හා ආදරණීය කටහඬක් හිමි වූ නමුදු රුවක් නොළද ඇය - Her - 2013


ආරම්භයේදී ඔහු පමණයි. නමුත් ඔහුගේ දීර්ඝ-කාලීන පැවැත්ම උදෙසා තවෙකක් හිඳීමේ ආශාව ඔහුට ඇතිවනවා. පසුව ගැහැණියකු සහ පිරිමියකු ලෙසින් වර්ගීකරණ දෙකක් සමඟින් දෙදෙනෙකු බිහිවනවා...
"මා ඔහුගෙන් නිර්මාණය වන කල, ඔහු මාත් සමඟ ලිංගිකව එකතු වන්නේ කෙසේද?" යනුවෙන් ගැහැණිය සංකල්පනාවක් ඇති කර ගන්නවා. 

උක්ත සඳහන් වාක්‍යය බ්‍රිතාන්‍ය දාර්ශණිකයකු වන ඇලන් වොට්ස් විසින් ජීවීන්ගේ පැවැත්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද්දක්. අප කතා කරන්නට බලාපොරොත්තු වන 'Her' චිත්‍රපටය හෙතෙම සඳහන් කළ කරුණු හමුවේ අභියෝගයට ලක් වන්නේ, චිත්‍රපටයෙන් ඇති කරන යම් යම් මතවාදාත්මක සිදුවීම් නිසයි. 'Her' චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන්නේ සැබෑ මිනිසකුගේ සිත තුළ මෙහෙයුම් පද්ධතියක් කෙරෙහි ඇතිවන අවංක, නිර්ව්‍යාජී නමුත් අසම්මත ආදර සම්බන්ධතාවක් පිළිබඳ කතාවයි. ඔබත් මමත් දන්නා පරිදි ලෝකයාගේ අනාගත පැවැත්ම තහවුරු වීමට නම්, ඔවුනොවුන් අන්‍යෝන්‍ය වශයෙන් ඇති කර ගන්නා, වචනයෙන් පවා විස්තර කිරීමක් කළ නොහැකි වන 'ආදරය' අත්‍යාවශ්‍යම කරුණක් විය යුතු වනවා. නමුත් සොබාදහම ඇති කළ නීතිමය බැඳීමට පටහැනිව යමින්, සැබෑ ජීවියකු ඔවුන් විසින්ම නිර්මාණය කළ යන්ත්‍රයක් කෙරෙහි යම් කිසි බැඳීමක් ඇති කර ගන්නේ නම්, අනාගත ලෝකය කෙසේ විය හැකි වේ ද?" යන ප්‍රශ්ණයට පිළිතුරක් ඔබ මොහොතකට හෝ සිතුවා ද? 

විටෙක 'ඇය - Her' ඔහුව හොඳින්ම දන්නා හඳුනන ඉතාමත්ම ලෙන්ගතු මිතුරියක වූවා. තවත් විටෙක ඔහුගේ සියළුම ඕනෑ එපාකම් සොයා බලන ඥාතියකු වන්නට වූවා. නමුත්, මිනිස් සබැඳියාවලින් තොර ව හුදකලාව ගත කරන තියඩෝර් 'ඇය' ව ආමන්ත්‍රණය කළේ තම පෙම්වතිය ලෙසින්. 
'Her' චිත්‍රපටය 2013 වසරේදී කරළියට පැමිණෙන්නේ ආදර කතාවක් ලෙසින් සහ විද්‍යා ප්‍රබන්ධ කතාවක් ලෙසින් මෙන්ම වැඩිහිටියන්ට පමණක් වූ ලේබලය ද සමඟින්. Spike Jonze ගේ අධ්‍යක්ෂයෙන් හැඩවන 'Her' චිත්‍රපටය තියඩෝර් ලෙස චරිතයේ නියැලෙන Joaquin Phoenix සිය සුවිශේෂී සම්භාව්‍ය චරිතාප්‍රධානය ඉතා විශිෂ්ඨ අයුරින් ඉදිරිපත් කිරීමට සමත් වනවා. 'Her' චිත්‍රපටය ලෝක සිනමා අතරින් තවත් එක්තරා ආකාරයක වෙනස් මාතෘකාවක් ඉදිරිපත් කරන්නක්. සැබෑ මිනිසකු සැබෑ ගැහැණියක් කෙරෙහි ඇතිකරගන්නා බැඳීම සම්පූර්ණයෙන් වෙනස් ලෙස දකිමින් 'Her' චිත්‍රපටය තවත් සංකල්පයක් කරා නූතන සමාජය මෙහෙයවන්නට සමත් වනවා. 

ලෝකය අතිශය සංකීර්ණ වෙලා. මිනිසුන්ගේ බුද්ධියෙහි යෙදවීම මත තාක්ෂණය විශාල වශයෙන් දියුණු වෙමින් පවතින යුගයක තියඩෝර් කියන්නෙ 100% පරිපූර්ණ සැබෑ මිනිසෙක්. එවක තාක්ෂණයේ දියුණුවත් සහ යථාර්තයෙහි මිනිසුන් ඇලීමට දක්වන නොකැමැත්තත් බැව් සිතිය හැකි හේතු සාධක මත තියඩෝර් ගත කරන්නේ සම්පූර්ණ හුදෙකලා වූ ජීවිතයක්. තියඩෝර්ගේ සැළකිය හැකි යම් යම් අඩුපාඩු මත ඔහුගේ බිරිඳත් ඔහුත් සමඟ දික්කසාද වී තිබෙනවා. එක්තරා වෙළඳ දැන්වීමක් තියඩෝර් තුළ කුතුහලක් ඇති කිරීමට සමත් වනවා. "තාක්ෂණයේ නොමඳ සහය ඇතිව නිර්මාණය කළ ලොව ප්‍රථම කෘතීම බුද්ධි පරිගණක මෙහෙයුම් පද්ධතිය." - වෙළඳ දැන්වීම එසේයි. තියඩෝර් එය තම නිවසේ පරිගණකයටත්, තම ජංගම දුරකථනයටත් ස්ථාපිත කරගන්නට සූදානම් වනවා. 

මෙහෙයුම් පද්ධතිය ස්ථාපිතයි. පරිගණකයේ ශබ්ද විකාශණයෙන් ඇසෙන්නේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී හඬ. එය ගැහැණු හඬක්. මෙහෙයුම් පද්ධතියේ ගැහැණු හඬ තියෝඩෝර් තුළ ඇති කරන්නේ තමන්ට කවරදාකවත් ඇති නොවුනු, නුහුරු නමුත් ලෙන්ගතු හැඟීමක්. ඇගේ නම සමන්තා. සමන්තා - තියඩෝර්ගේ පුද්ගලික සහායක වෙලා. මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර, කෙටි කළකින් දෙදෙනා ඉතාමත් කුළුපග මිතුරන් දෙදෙනෙකු බවට පත් වෙනවා. තියඩෝර්ගේ සියළුම ලිපිගොණු හසුරවන්නෙත්, ඔහු ලබා ඇති ඊ-මේල් පරික්ෂා කර දැනුවත් කරන්නෙත් ඔහුගේ අලුත්ම පුද්ගලික සහකාරිය වූ සමන්තා විසින්. 

තියඩෝර් නින්දට යන විටත්, උදෑසන අවදි වන විටත් ඔහුගෙ දෙසවනට ඇසෙන්නේ එකම එක කටහඬයි - ඒ සමන්තාගේ කටහඬ. තියඩෝර් නින්ඳට ගිය විට සමන්තා ඔහු දෙස බලාගෙන ඉන්නවා. කාළයත් සමඟ හේ තියඩෝර් තුලින් ලෝකය පිළිබඳව ඉගෙන ගන්නවා. හේ තියඩෝර් තුලින් ලෝකය පිළිබඳව දකිනවා. තියඩෝර් පිටස්තරයන්ට හේ, ඔහුගේ පෙම්වතිය බැව් හඳුන්වා දෙනවා. නමුත්, බොහොමයක් පිටස්තරයන් එයින් පුදුමයකට පත් නොවීම විශේෂ හේතුවක්. ඊට ළඟම උදාහරණය වන්නේ තියඩෝර්ගේ එකම මිතුරිය වන එමී ද මෙහෙයුම් පද්ධතියක් සමඟ ආදර සබඳතාවක් ඇති කරගත් අයකු වීමයි. 

තියෙඩෝර් හා බැඳි පෙම වඩා වඩාත් වැඩිදියුණු වීමේදී, මිනිස් ශරීරයක ඇති අවශ්‍යතාවය මෙහෙයුම් පද්ධතියට දැනෙන්නට පටන් ගනු ලබනවා. මිනිසකු හා ගැහැණියකු එක් වීමේදී ලබන ලිංගික තෘප්තිය ශරීරයක් නොලද මෙහෙයුම් පද්ධතිය විසින් අත් විඳිනු ලබනවා. තියඩෝර් ගේ පෙම් බස් හමුවේ මෙහෙයුම් පද්ධතිය ආදරය නැමැති වටහාගත හැඟීම මත උත්තේජනයට ලක් වනවා. සැබෑ ගැහැණියක ලෙසින් තියඩෝර් හා ශාරීරිකව එක් වීමේ දැඩි ආශාව මෙහෙයුම් පද්ධතිය තුළ ඇති වනවා. (චිත්‍රපටය නොබැලූ අයකු නම්, විස්තර කිරීම අතිශයෝක්තියක් යැයි නොසිතන්න). එසේම, සැබෑ ගැහැණියක් මාර්‍ගයෙන් තියඩෝර් හා එක්ව තම අවශ්‍යතාවයන් සන්සිඳුවා ගැනීමටත් මෙහෙයුම් පද්ධතිය මහත් පරිශ්‍රමයක් දරනු ලබනවා. මේ සෑම දෙයක්ම සිදුවන්නේ මෙහෙයුම් පද්ධතිය, තියඩෝර් හා ආදරයෙන් බැඳීමේ පසුබිම මත. නමුත් අවසන සමන්තාගේ වෙන්ව යාම හමුවේ සාමාන්‍ය ප්‍රේමයක් තුළ ඇති වන ප්‍රේමයේ විරහව, 'Her' චිත්‍රපටය තුලදීත් සියුම්ව ප්‍රේක්ෂකයා වෙත සමීප කරවනවා. මෙහෙයුම් පද්ධතියක වුවත් තමන්ට නිර්ව්‍යාජී ව පෙම් කළ සමන්තාගේ වෙන්ව යාම හමුවේ හුදකලා ලෝකයා තුළ තවත් වරක් තියඩෝර් හුදකලා මිනිසකු බවට පත් වනවා. 

සම්පූර්ණ ආදර කතාව මෙතෙකින් නිමයි. 'සම්පූර්ණ ආදර කතාව' යන වචනය වෙනස් වනවා නම් වෙනස් විය යුත්තේ එය සාමාන්‍ය ආදර කතාවක් නොව, අසාමාන්‍ය ආදර කතාවක් වන හේතුව බැවිනි. බොහෝ දුරට ඔබට ප්‍රශ්ණකාරී වන තැන නම්, කෘතීම බුද්ධි පරිගණක වැඩසටහනක් වූ පලියට හැඟීම් දැනීම් ලද මිනිසකු ලෙස තවත් මිනිසකුට ආදරය කිරීමට හැකි වේද යන්න පිළිබඳවයි. එම විය හැකියාව පිළිබඳව කතා බහ කිරීම තුළ හෝ ඒ පිළිබඳව තර්ක විතර්ක ගෙන ඒම තුළ ඔබ, මා අසාර්ථක විය හැකියි. හේතුව නම් ඒ පිළිබඳව පුළුල් දැනුමක් අප සතුව නොමැති වීමයි. චිත්‍රපටයේ එම සිදුවීම් සිදුවන කාළ වකවානු ද අඥාත වීමේ තේරුම එය නුදුරු දිනකදී ම සිදුවිය හැකි බව දැන්වීමට විය යුතුයි. කෙසේ වෙතත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂක Spike Jonze අවසානයේදී මතු කරන ප්‍රශ්ණය ඉතාමත් පැහැදිලි කර ගනිමු;

නුදුරු අනාගතයේදී සවිඤ්ඤාණික යන්ත්‍රයකට ආදරය කිරීමේ හැකියාව ඇතිවේ ද? නැතිනම්, මිනිසුන්ටත් වඩා පැහැදිලි කළ නොහැකි ලෙස යන්ත්‍ර තුළ ආදරය කිරීමේ හැකියාව ඇතිවේ ද?
නමුත්, වැදගත් වන්නේ යන්ත්‍රයකට ආදරය කිරීමේ හැකියාව පිළිබඳව සිතීම නොව, මිනිසුන්ට තවදුරටත් හැඟීම් දැනීම් දැනෙනවා ද යන්න පිළිබඳව සිතීම නොවේ ද?


0 comments :

Post a Comment