Sunday, 6 November 2016

පිටසක්වල ජීවීන්ගේ තවත් සුපිරි අත්දැකීමක්! - Arrival (2016)




ඔන්න කාළෙකින් සුපිරිම ගණයේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් බලන්න හැමෝටම වාසනාවක් ලැබෙනවා. අපි හැමෝම බලපු Inception - 2010 , Interstellar - 2015 වගේ අති දැවැන්ත විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරණයට ඇතුලත් කරන්නට පුළුවන් වෙන, ඊට නොදෙවෙනි චිත්‍රපටියක් වෙන බවට කිසිම සැකයක් නෑ. චිත්‍රපටිය නමින් Arrival (සංක්‍රමණය).  පෘථිවියට ආගන්තුක පිටසක්වල ජීවී කොට්ඨාෂයක් පෘථිවියට සංක්‍රමණය වීම පිළිබඳව තමයි මුළු කතාවම සමන්විත  වෙලා තියෙන්නෙ. තිරගත වීම ආරම්භ වෙන්නෙ 2016 අවුරුද්දේ නොවැම්බර් (මේ මාසයේ) 10 වෙනිදා, ජර්මනියේ දී. දැනට IMDb ශ්‍රේණිගත කිරීම් වල 8.5ක වාර්තාගත අගයක් ලබාගැනීමටත් සමත්වෙලා තියෙනවා. 

පිටසක්වලයින් ගැන කිව්වොත් කතා ගොඩයි. ඒගොල්ලො ගැන විවිද විදිහට විවිද කට්ටිය දකින්න පුළුවන් වෙන එක පුදුමයක් නොවෙන්නෙ ඒගොල්ලො ගැන හරිහැටි තොරතුරක් අපි නොදන්න හින්දා. ඉතින් ඒ නිසා විශ්වාසයත්, අවිශ්වාසයත් මත පදනම් වෙමින් සිනමාකරුවෝ පිටසක්වල ජීවීන් ගැන නොයෙක් විදියේ චිත්‍රපට නිර්මාණය කරන්නට පෙළඹුණා. ඒ අතරින් බොහෝ චිත්‍රපට ගණනාවක්ම බිහි වුණේ ඔවුන්ගෙන් පෘථිවියට හා පෘථිවි වැසියන්ට එල්ල විය හැකි තර්ජන අලලා. මෑත කාළයේදී ගොඩක් ජනප්‍රියත්වට පත් වුණු, The 5th Wave - 2016, 10 Cloverfiled Lane - 2016 සහ Independence Day: Resurgence - 2016 වැනි චිත්‍රපට වල ප්‍රධාන තේමාව වුණෙත් පිටසක්වල ජීවීන්ගේ තර්ජනයන් හමුවේ පෘථිවිය බේරා ගැනීම සඳහා මිනිසුන් විසින් සිදු කරනු ලැබූ මහා සංග්‍රාමයන්. නමුත් අපි කතා කරන මේ Arrival - 2016 චිත්‍රපටිය ඊට හාත්පසින්ම වෙනස්, අපි නොදැකපු තේමාවක් ඔස්සේ දිගහැරෙන කතාවක් වෙන බවට අපට කියන්න පුළුවන් කම ලැබෙනවා

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි කැනේඩියානු අධ්‍යක්ෂකයෙක් වෙන Denis Villeneuve විසින්. මොහු විසින් අධ්‍යක්ෂණය කළ Prisoners - 2013 චිත්‍රපටය පිළිබඳ ඇති වූ ආන්දෝලනාත්මක බවත් ඔබ සැම දන්නවා.

කතාව මෙහෙමයි

මහාචාර්යය ලුයිස් බෑන්ක්ස් (කතාවේ ප්‍රධානය චරිතයට පණ පොවන - Amy Adams)  කියන්නෙ ඉතා විශාල පරාසයක භාෂා ප්‍රගුණ කළ වාග් විශේෂඥවරියක්. නමුත් ඇය එසේ හසළ දැනුමින් පරිපූර්ණ වුණත් ඇයට ජීවත් වන්නට සිදුව තිබෙන්නේ ඉතා දුක්ඛිත ජීවිතයක්. ඒ ඇයගේ දරුවකු නැතිවීම සහ තවත් දරුවකු පිළිකාවකින් අකාලයේ මිය යාම සම්බන්ධව.

පර්සියන් භාෂාවෙන් තිබෙන ත්‍රස්ථවාදී කැරලිකාර පිරිසකට අයත් වීඩියෝවක් පරිවර්ථනය කිරීමේ සහාය පතා පසු කළෙක හමුදාව විසින් ඇයව බඳවා ගනු ලබනවා. මේ අතර වාරයේදී ලෝකයේ ප්‍රදේශ 12 කින් අපූරු සිදුවීමක් වාර්ථා වෙනවා. බිත්තරයක් හා සමාන රවුම් පිටසක්වල යානා කිහිපයක් එම ප්‍රදේශ 12 තුළ මතුවී තිබෙන බවට. මෙහිදී මහාචාර්යය ලුයිස් හට පැවරෙන රාජකාරිය වන්නේ එම බිත්තර හා සමාන පිටසක්වල යානා තුළ සිටින පිටසක්වලයින් සමඟ සම්බන්ධතාවයන් පැවැත්වීම සඳහා උපකාර කිරීමයි. ඒ සඳහා ඇයට ඔවුන් සමඟ සන්නිවේදනය කළ යුතු වනවා. 

සමාන්‍යයෙන් කුරුල්ලකු කෑ ගැසූ පළියට ඔවුන් එයින් හඟවන්නට යන දේ අපට තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නෙ නෑ. චිත්‍රපටය තුළදී මෙම අසාමාන්‍ය ජීවීන් කොට්ඨාෂය හා සන්නිවේදනය කිරීමට යන ක්‍රමවේදය ඉතාමත් සිත්ගන්නා සුළුයි. (අන්තර්ජාලයේ පළවෙන විදිහට මොවුන් සමඟ සන්නිවේදනය කිරීමේ දර්ශණ චිත්‍රපටයේ සිත්ගන්නාසුළු ඒවාලු)  අධ්‍යක්ෂක Villeneuve විසින් එය ඉතාමත් ප්‍රායෝගික ලෙස යොදා ගෙන තිබෙනවා. කොහොමනමුත් අවසානයේදී ලෝකයේ තවත් ප්‍රවීණයන් පිරිසකගේද සහාය අතැතිව මේ ජීවීන් කොට්ඨාෂය වෙත ළඟා වන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා. 

මෙලෙසින් පෘථිවියට පැමිණි  මේ ආගන්තුක ජීවී කොට්ඨාශයේ අරමුණ කුමක් වන්නට හැකි ද? ඔවුන්ගේ අරමුණ තවත් යුධ සංග්‍රාමයක් සඳහා සූදානම් වන ලෙස පෙරනිමිති ගෙන ඒමද, එසේත් නැතිනම් අප නොදන්නා දෙයක් පිළිබඳව කරුණු හෙලි කිරීමට ද? චිත්‍රපටය නැරඹීම සඳහා අප ඉන්නේ හුඟක් නොයිවසිලිමත් කමින්.

Arrival - 2016 පූර්ව ප්‍රචාරක පටය



0 comments :

Post a Comment