Friday, 9 September 2016

Neerja (2016) - අසමත් වුණි ද ඈ ජීවිතය!?



පහුගිය දවස් ටිකේ හැමෝම කතා වුණු කවුද මේ නිර්ජා බනෞට් කියන්නෙ? ඇගේ දෙමාපියන්ට අනුව ඇය නිර්භීත දැරිවියක්, ඈ බේරාගත් ජීවිත වලට අනුව ඈ දෙවඟනක් සහ ලෝකයට වීරවරියක් වුණු  ඈ, ඉන්දියාවේ උපත ලද තවත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඇය කවුරුත්ම දන්නා මතෘකාවක් බවට පත් වුණේ මේ වර්ෂයේදී (2016) ඉන්දියාවේ තිරගත වුණු Neerja නැමැති චරිතාපදාන විශිෂ්ඨ සිනමා සිත්තම ඔස්සේ. හුඟක් දෙනා ඒ සිනමාව වෙනුවෙන් බොහෝ සංවේදී වූවා. හුඟක් දෙනා ඒ පිළිබඳව සොයා බලන්නට සිදු වුණා. ඒ සොයාගත් කරුණු ඔස්සේ අපි බලමු ඇගේ චරිතය පිළිබඳව.

සිනමාව

Neerja සිනමාව ගොඩනැංවෙන්නේ නිර්ජා බනෞට් නම් ඉන්දියාවේ පවුලක උපත ලද සාමාන්‍ය කාන්තාවක් වටා. මෙය අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තිබුණේ Ram Madhvani සහ තිර රචනයෙන් දායක වෙලා තිබුණේ Saiwyn Quadras සහ Sanyuktha Chawla යන දෙපළ අතින්. ඒවගේම නිර්ජාගේ චරිතය වෙනුවෙන් අති විශිෂ්ඨ රංගන ප්‍රතිභාවක නියැලෙන්නෙ අපි කවුරුත් ආදරය කරන ඉන්දීය නිළි, සෝනම් කපූර් විසින්. Neerja  සිනමා සිත්තම තිරගත වන්නේ 2016 වර්ෂයේ පෙබරවාරි 9 වන දා යි. 

ඇගේ කතාව

නිර්ජා බනෞට් උපත ලබන්නේ 1963 වර්ෂයේ සැප්තැම්බර් 7 වන දින ඉන්දියාවේ චන්දිගර් ප්‍රාන්තයේ. ඇයට සොහොයුරන් දෙදෙනෙකු සිටියා. මුම්බායේ තම අධ්‍යාපන කටයුතු ඉටු කරගෙන යන අතර වාරයේ ඇගේ ජීවිතයේ සිහිනයක් ව තිබුණු නිරූපිකාවක වීමේ සිහිනය සැබෑ කර ගැනීමට ද ඇයට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් යෝජිත විවාහක් මඟින් 1985 දී ඇගේ විවාහය සිදු වුවත්, ඒ විවාහ ජීවිතය සාර්ථකව ගෙනයාමට ඇයට අවස්ථාව අහිමි වනවා. ඊට හේතුව වන්නේ, විවාහයේදී ඉන්දියාවේ මහත් ගැටළුකාරී තත්වයක්ව පවතින, තම ජීවන සහකරුවා සතුටු වන ආකාරයේ දෑවැද්දක් තමාට ලබා දීමට අපොහොසත් වීම හේතුකොට ගෙන. ජීවන ගමනේදී සෑම තරුණියකටම අනිවාර්යෙන් හිමිවන ජීවිතයේ අසාර්ථකත්වය ඇය ලබන්නේ මේ කාල වකවානුව තුළදීයි. නිරූපිකාවක ලෙස ජීවිතය ගෙනයාමට අදහස් කළ ඇය නැවතත් තම දෙමාපියන් සමඟින් ජීවිතය ගත කිරීමට පැමිණෙනවා. එම වර්ෂයේදීම ඈ තම දෛවය නවමු මාවතකට වෙනස් කරන ලද රැකියාව තෝරා ගන්නා විටත් ඈ තවදුරටත් මානසිකව පිරිහී යන ලද "නිර්ජා" ම වූවා. එළෙස තම රැකියාව ලෙස Pan Am හි ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීම නිරූපිකාවක් වීමේ තම සිහිනයේ එක් සැබෑවීමක් ම වන්නට ඇති.

ඇය නිර්භීතයි! 

දින ගතවනවාත් සමඟම ඇයට රැකියාවේ තවත් ඉහළ ස්ථානයකට යන්නට හැකි වුණා. ඒ Pan Am හිම ප්‍රධාන ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීමේ වාසනාව ලබා ගනිමින්. දිනය 1985 වර්ෂයේ සැප්තැම්බර් 5 වන දා. එදවස ඈ තම දෙමාපියන්ට තමා නිර්භීත දැරිවියකැයි, තමා ප්‍රතික්ෂේප කළ ස්වාමිපුරුෂයාට තමා නිර්ව්‍යාජී බිරින්ඳෑවකැයි සනාත කළ දිනය වූවා. සුපුරුදු ලෙස ඈ තම රැකියාව බලා පැමිණෙන්නේ තම දෙමාපිය ආශීර්වාදය ද ලබා ගනිමින්. ඇගේ ආදරණීය මව්තුමිය, "පුෂ්පා" හට එදවසත් සතුටුදායක දවසක් ලෙස නෙදැනෙන්නට ඇති. ඒ හැමදාමත් වාගේ නිර්ජාගේ රැකියාව පිළිබඳව "පුෂ්පා" සතුටුදායක නොවූ බැවිනි. 

ඈ එදවස සේවය නිරත වූයේ Pan Am Flight 73 නැමැති මුම්බායේ සිට අමෙරිකාව බලා පියාසර කරන ගුවන් යානයේ ප්‍රධාන ගුවන් සේවිකාව ලෙස. ගුවන් යානය ගමන අතරතුර පාකිස්ථානයේ නවත්වා තිබිය දී අබු නිදාල් ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ගුවන් යානය වෙත එක්වරම කඩා වැදුනා. ත්‍රස්ථ සාමාජිකයන් යානයට කඩාවැදි මොහොතේම ක්‍රියාකාරී වූ නිර්ජා යානයේ සිටි ගුවන් නියමුවන්ව ඒ පිළිබඳව දැනුවත් කරන්නට යුහුසුළුව කටයුතු කළා. එම බුද්ධිමත් තීරණය මත ත්‍රස්ථ සාමාජිකයන්ගේ අරමුණ එක්වරම ව්‍යර්ථ වී ගියා. 

ත්‍රස්ථ ක්‍රියාකාරීගේ මීළඟ ඉලක්කය වූයේ යානයේ සිටින අමෙරිකානු මඟීන් සියල්ලක්ම ඝාතනය කර දැමීමට. ඒ සඳහා සියළුම මඟීන්ගේ ගමන් බලපත්‍ර එකතු කොට, එයින් අමෙරිකානු ගමන් බලපත්‍ර පමණක් වෙන් කර ගැනීමේ උත්සහයක ඔවුන් නිරත වුණා. නිර්ජාගේ නිර්භීතකමෙහි මීළඟ පියවර ලෙස ඈ, අමෙරිකානු ගමන් බලපත්‍ර ත්‍රස්ථ ක්‍රියාකාරීන්ගෙන් සැඟවීමට කටයුතු සිදුකරනු ලබනවා. 

කඩාවැදීමෙන් පැය කිහිපයකට පසු ත්‍රස්ථ ක්‍රියාකාරීන් අමු අමුවේම ගුවන් යානය තුළ බෝම්බ ක්‍රියාත්මක කිරීමට ආරම්භ කළ මොහොතේදී, නිර්ජාගේ මෙහෙයවීම මත යානයේ දොරක් විවෘත කරගැනීමට ඇයට හැකිවනවා. ඔව්, ඇයට ගුවන් යානයෙන් ගැලවී යාමට ඕන තරම් ඉඩකඩ ලැබුණා. නමුත් ඇය ඒ වෙනුවට තෝරාගත්තේ තම ජීවිතය දෙවනුවට තබා මඟීන්ව ආරක්ෂා කර ගැනීමයි. 

මඟීන්ව ආරක්ෂා කර ගැනීම පළවෙනි කාර්යය ලෙස සැලකූ නිර්ජා ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කරනවා. ගුවන් යානයේ සිටි 369දෙනෙක් වන මඟීන් පිරිසකගෙන් 359දෙනෙකුගේම දිවි ගලවා ගන්නට නිර්ජාට හැකියාව ලැබෙනවා. බොහෝ හැල හැප්පීම් මැද ජීවිතය රැගෙන ආ නිර්ජා අවසානයේදී මිය යන්නේ ලෝකයම දන්නා අභීත තරුණියක ලෙසින්. මිය යන මොහොත වන විට ඇයගේ විසි තුන්වන උපන්දිනයට තිබුණේ දවස් දෙකක් පමණයි. තරුණ කාළයේදී මෙතරම් නිර්භීත අයකු ලෙසින් මරණයට පත්වන්නට ලැබීම ඇය ලද සුවිශාල භාග්‍යයක්.

ඇගේ ජීවිත කතාව කියවා යන විට  අප සමහරක් කාන්තාවන්ගේ ජීවිත කතාව ලියවිලා තියෙන්නෙ ඇයගෙ ජීවිත කතාව ලියැවී තිබූ ආකාරයටම යැයි කවුරුන් හෝ පසන ලදී නම් මම ඔවුන් හා එකඟ වන්නට කැමැත්තෙමු. ජීවිතයේ බොහෝ අසාර්ථක වීම් තවදුරටත් උපකාර කරගෙන සාර්ථකත්වය කරා ළඟා වන  පුද්ගලයින් දක්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ අතරින් අප අද කතා කරන නිර්ජා යන චරිතය ඒ සඳහා අපට හොඳම උදාහරණයක් සලසනවා නොඅනුමානයි. 

නිර්ජාගේ මරණයෙන් පසු ඇයගේ පියා පුවත්පතකට ලියා ඇති ලිපියකින් කොටසක් මෙසේ උපුටමි:

සාහසික ත්‍රස්ථවාදීන්ගේ වෙඩි උණ්ඩ හමුවේ Pan Am හි සේවය කළ ඉතාමත් කාර්යයශූර්යය නිර්ජා මරණයට පත් වුණා.ඒ වෙනකොට කෙල්ලගෙ විසි තුන්වෙනි උපන්දිනයට යාන්තමට පැය 25ක් තියෙන්න ඇති. අවුරුද්දකට පස්සෙදි ඇය ලියලා තිබුණු සටහනක් මට හම්බවුණා. ඒකෙ තිබුණේ, "කවදාහරි දවසක මම ඔයා අඩම්භරකාරයෙක් කරවනවාමයි" කියලා. ඉතින් මම හිතනවා ඒ නිර්භීත කෙල්ල ඒ වචනෙ රැක්කා කියලා. 
අතිශය සීමාසහිත අවස්ථාවන්හිදී පවා ඇය මඟීන්ගේ ඕනා එපා කම් ගැන සැලකිලිමත් වුණා. මඟීන්ට සහ කාර්යය මණ්ඩලයට තිබුණු එකම සැනසීම වුණේ ඇගේ අමතක නොවන සිනහවයි.
ඉපදුනු දා ඉඳලම නිර්ජා කියන්නේ කිසිම කරදරයක් වුණේ නැති ළමයෙක්. කවදාවත් දරුවා විකාර වැඩ කරන්න පුරුදු වුණේ නෑ. පවුලේ හැමෝම එයාට කිව්වෙ "ලඩෝ" කියලා, ඒත් මම නම් හිතන්නෙ නෑ ගෙවුණු අවුරුදු විසි තුනක කාළයේදි එයාට "නිර්ජා" කියන නමින් මම හුඟ කාළයක් කතා කරන්න ඇති කියලා.



0 comments :

Post a Comment